ශවේන්ද්‍ර සිල්වාට නඩු පැවරීමට යුද අපරාධ චෝදනා ගොනු කළ වාර්තාවක් එළි දකී

Report
19Shares

ජනාධිපතිවරයා විසින් මේ මාසයේ අලුතින් පත් කරන ලද යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියාට එරෙහිව යුද අපරාධ චෝදනා සම්භාරයක් ප්‍රකාශයට පත් කරන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් ඔහුගේ වැඩ තහනම් කරන ලෙස ආණ්ඩුවට බලකර සිටී.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට මහත් සේ වරද පවරන චෝදනා රැගත් පිටු 137 ක වාර්තාවක් නිකුත් කරන යැස්මින් සූකා ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) දකුණේ යුද වීරයකු සේ සැලකෙන ඔහුට විරුද්ධව පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන් ප්‍රමුඛ ජාත්‍යන්තර බලවතුන්ගෙන්ද ඉල්ලයි.

“මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ට නඩු පැවරිය හැකිය. නඩු පැවරිය යුතුය,” යි වාර්තාව පවසයි.

යුද හමුදාවේ දෙවැනියා ලෙස හමුදාපතිවරයා නිර්දේශ කළ පුද්ගලයන් දස දෙනකු අතරින් ඔහුම තෝරා ගන්නා ලද්දේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් යැයි කොළඹින් පලකෙරෙන ඇතැම් සිංහල පුවත්පත් වාර්තා කර තිබුනි.

සිය අලුත්ම වාර්තාව යුද සමයේ කවර හෝ සෙන්පතියකුට එරෙහිව මේතාක් සම්පාදනය කරන ලද වඩාත් සවිස්තරාත්මක සාක්ෂි සම්පිණ්ඩනය බව පවසන ITJP, ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ වල සේවය කළ පුද්ගලයන් විසින්ද සපයන ලද ඡායාරූප, අදාළ සමයේ කෙටි ජංගම පණිවිඩ සහ සාක්ෂි වාචක මෙන්ම, සත්‍යය වසන් කිරීමේ අරමුණින් යුතුව පසු කලෙක අන්තර්ජාලයෙන් ඉවත් කරගන්නා ලද නිල හමුදා නිවේදන සහ එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තා වලින් සොයාගන්නා ලද කරුණු ද එහි ඇතුලත් බව කියා සිටී.

වාර්තාව එලි දක්වා ඇත්තේ හමුදා නිලධාරීන් විසින් අපරාධ කළ බව “ඔප්පු කළ හැකි” චෝදනා ලබා දෙන ලෙස ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දෙමළ ඩයස්පෝරාවට අභියෝගයක් කර සතියක් ගතවෙද්දීය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවැනියා සම්බන්ධයෙන් තමන් විසින් ගොනු කර ඇති විස්තර වලට වඩා අඩු තොරතුරු ප්‍රමාණයක් මත පදනම් වී ජාත්‍යන්තර විනිශ්චය සභා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නඩු නිම කර ඇති බව ITJP අවධාරණය කරයි.

එජා සාමසාධක මෙහෙයුම්

“ශවේන්ද්‍ර සිල්වා දණ්ඩ මුක්තිය භුක්ති විඳින තාක් කල්, නීතියේ ආධිපත්‍යය සහ වගවීම අත් කරගෙන ඇති ප්‍රගතිය ගැන කතා කිරීමේ හැකියාවක් ජාත්‍යන්තර ප්‍රජාවට නැත,” යනුවෙන් ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පැවසුවාය.

“මේ පුද්ගලයා යුද හමුදාව පාලනය කරන කල එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුව තවදුරටත් ශ්‍රී ලංකාවෙන් භට පිරිස් බඳවා ගන්නේ කෙසේද? එය බරපතලම ජාත්‍යන්තර අපරාධ වලට දෙන සමාවක් වනු ඇත. ශ්‍රී ලංකාව පියවර නොගන්නේ නම්, විශේෂයෙන් ශ්‍රී ලංකාව සමග සමීප හමුදා සම්බන්ධතා පවත්වන කලාපයේ රටවල් කරා අප යොමු වන්නේ ශවේන්ද්‍ර සිල්වාට වීසා ලබා නොදෙන ලෙස, ඊටත් වඩා ජාත්‍යන්තර යුක්ති විනිශ්චය යටතේ ඔහුට නඩු පවරන ලෙස ඉල්ලා සිටීමටයි.”

යැස්මින් සූකා යනු ශ්‍රී ලංකාවේ අවසන් යුද්ධයේ ක්‍රියා කලාපය විමසා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා විසින් 2010 දී පත් කරන ලද ජාත්‍යන්තර නීති විශාරදයන් තිදෙනා අතරින් එක් තැනැත්තියකි.

ශවේන්ද්‍ර සිල්වාගේ අණ යටතේ පැවති 58 වැනි සේනාංකය 2008-9 වකවානුවේ ශ්‍රී ලංකාවේ උතුරේ ගම් හා නගර ගණනාවකට එල්ල කළ ප්‍රහාර පිලිබඳ විස්තර ඇගේ මෙහෙයවීමෙන් සම්පාදනය කරන ලද තොරතුරු ගොනුවේ දැක්වෙයි.

වගවිභාගයකින් තොරව සාමාන්‍ය ජනතාවට එරෙහිව හිතාමතා එල්ල කළ ප්‍රහාර, රෝහල් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල වලට ප්‍රහාර, යුද මුක්ත කලාප වලට ප්‍රහාර මෙන්ම තහනම් සහ වගවිභාගයකින් තොර ආයුධ යොදාගැනීම පිළිබඳ චෝදනා ද එහි ඇතුලත් වෙයි.

සාමාන්‍ය වැසියන්ට මරු කැඳවමින් හා බරපතල තුවාල සිදුකරමින් පස් මාසයක පමණ කාලයක් තිස්සේ කිලිනොච්චි, පුදුකුඩියිරුප්පු, පොක්කනෙයි, පුදුමාතලන්, වලයිඥර්මඩම් (වලයන්මඩම්) සහ මුල්ලිවයික්කාල් වලට ප්‍රහාර එල්ල කරන ලද ආකාරය එහි දැක්වෙයි.

(2009අප්‍රේල් 4 දා පොක්කනෙයි ගමට එල්ලවූප්‍රහාරවලින් අනතුරුව පුදුමාතලන් රෝහලට ගෙනා තුවාලකරුවන්ගෙන් කොටසක් පහත ඡායාරූපයේ. එදින රෝහලඇතුල් කළ 324 දෙනකුගෙන් 49 ක් මියගිය බව රජයේ වෛද්‍යවරු පැවසූහ)

සුදුකොඩි

කුප්‍රකට සුදුකොඩි භාරවීමේ සඳහන් එල්ටීටීඊ දේශපාලන නායකයන් වන සීවරත්නම් පුලිදේවන් සහ බාලසිංහම් නඩේසන් දෙදෙනා යුද්ධය අවසානයේ දී 58 සේනාංකයට යටත් වීමේදී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ට පුද්ගලිකවම අතට අත දුන් බව සිද්ධිය සියැසින් දුටු අයකු තහවුරු කර ඇතැයි ද ITJP පවසයි.

“මදක් කල් ගතවූ පසු ඔවුන්ගේ මළ සිරුරු වට්ටුවාක්කල් පාලමේ අනික් පැත්තේ මහමග තිබී දැක ගන්නට ලැබුනි. භාරවුවන් අතුරුදහන් කරවීමටත්, ඇතැමකු නඩු නොඅසා ඝාතනය කිරීමටත්, තම වගකීම යටතේ වූ භට පිරිස් වගකිව යුතුයැයි මේජර් ජෙනරාල් සිල්වා දැන සිටි බව හෝ ඒ පිළිබඳව ලැබුනු තොරතුරු දැනුවත්ව නොතකා හල බව හෝ විශ්වාස කළ හැකි සාධාරණ හේතු කාරණා පවතී.”

තම විධානය යටතේ සිටි භට පිරිස් විසින් වධහිංසා පැමිණවීම පිළිබඳව ශවේන්ද්‍ර සිල්වා දැන සිටි බව හෝ දැනගත යුතුව තිබුනු බවටද, එම කෙලෙසීම් වලක්වා ඊට වගකිවයුත්තන්ට දඬුවම් පැමිණවීමට පියවර නොගත් බවටද විශ්වාස කළ හැකි සාධාරණ හේතු කාරණා ඇතැයි ද ITJP වැඩිදුරටත් පවසයි.

“මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ වාර්තාවෙන් දැක්වෙන කරුණු වලින් ද, මේ වාර්තාවේ එන සාක්ෂි අනුව ද ලිංගික දූෂණය, වධහිංසාව සහ පුද්ගලික ගෞරවයට එරෙහි සාහසිකත්වය යනාදී යුද අපරාධ සම්බන්ධයෙන් මෙන්ම, සිය අණසක යටතේ පැවති භට පිරිස් විසින් කරන ලද වධහිංසා සම්බන්ධයෙන් වෙනමත් ද, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ට නඩු පැවරිය හැකිය. නඩු පැවරිය යුතුය.”

ශ්‍රී ලංකා යුද හමුදාව සිදුකළ බවට චෝදනා කෙරෙන යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර දායකත්වයෙන් යුත් සංක්‍රාන්ති යුක්ති ක්‍රියාදාමයක් දියත් කිරීමට ආණ්ඩුව 2015 බලයට පත්වූ අලුත එක්සත් ජාතීන් හමුවේ ගිවිස ගත්තත්, ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් දිගින් දිගටම පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වල කිසිදු සෙන්පතියකුට දඬුවම් නොකරන බවයි.