හිඩැස: අලුත් ව්‍යවස්ථාව, ජිනීවා, උතුරු නැගෙනහිර නව ආණ්ඩුකාරවරු සහ දෙමළ නායකත්වයේ ගමන් මග

Report
1Shares

පසුගිය සතියට සමාන අයුරින්ම මෙම සතියේද දමිළ පුවත්පත්, යෝජිත නව ව්‍යවස්ථාවට අදාළ නව වර්ධනයන් වෙත සිය අවධානය කේන්ද්‍රගත කොට තිබිණි, වීරකේසරී, තිනකුරල් සහ රජයට අයත් තිනකරන් යන දමිළ භාෂා ජාතික පුවත්පත් ත්‍රිත්වයම විශාල වශයෙන් නව ව්‍යවස්ථාව වෙත අවධානය යොමා තිබුනේ, ඉදිරියේ එන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාර සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන අතරතුරදීයි. මෙම පුවත්පත් පහත දැක්වෙන කරුණු ආවරණය කොට තිබිණි.

1) නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇදි ඇදී යන කතිකාවන්

2) දමිළ අභිලාශයන් නියෝජනය කිරීමෙහි ලා දේශපාලන නායකත්වයේ භූමිකාව

3) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව හා ශ්‍රී ලංකාවේ වගවීම

ඇදි ඇදී යන ව්‍යවස්ථා කතිකා

උක්ත නම් සඳහන් දමිළ භාෂා ජාතික පුවත්පත් තුනම විස්තීර්ණ වශයෙන් යෝජිත නව ව්‍යවස්ථාවට සම්බන්ධ වර්ධන වාර්තා කිරීමෙහි යෙදුනු බව දක්නට ලැබිණි. මෙම වාර්තාකරණය විශාල වශයෙන්ම පාදක වී තිබුණේ ව්‍යවස්ථාවට පක්ෂව සහ ඊට එරෙහිව රජය, විපක්ෂය සහ අනෙකුත් අදාළ වන අභිරුචි ඇත්තවුන් විසින් ඉදිරිපත් කරනා දෘෂ්ටීන් මත ය.

මීට අමතරව මෙම කරුණ සම්බන්ධයෙන් දෙමළ දේශපාලන පක්ෂවල -විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානයේ- සම්බන්ධ වීමද දමිළ භාෂා පුවත්පත් තුළ වාර්තා වී තිබූ අතර, සාකච්ඡාවටද බඳුන් වී තිබිණි. මෙම මාතෘකාව තිනකුරල් පුවත්පතේ විස්තීර්ණ වශයෙන් සාකච්ඡා විනි. පුවත්පතේ දේශපාලන අතිරේකයෙන් පෙන්වා දී තිබුණේ, දෙමළ ජාතික සන්ධානයෙන් ප්‍රබලව සහාය ලබාදුන් නව ව්‍යවස්ථාවක් කෙ‍ටුම්පත් කිරීම කෙරෙහි වූ ප්‍රයත්න සියල්ල කිසිසේත්ම ප්‍රගතියක් අත් කර නොගත් බවයි. දේශපාලන අතිරේකය මගින් නිරීක්ෂණය කොට තිබුණු කරුණ වූයේ, තමන් මෙම නව ව්‍යවස්ථාව ගෙන ඒමට උත්සාහ කරනා දේශපාලන යතාර්ථය දෙමළ ජාතික සන්ධානය මගින් අවබෝධ කරගත යුතු බවයි. වඩාත් පැහැදිලිව පවසන්නේ නම් තිනකුරල් දේශපාලන අතිරේකය මගින් ඉස්මතු කොට දක්වා තිබුණේ, මෙම නව ව්‍යවස්ථාව ගෙන ඒමේ පසුතලය වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර දිගින් දිගටම දිවෙන දේශපාලන අරගලය සහ මහින්ද රාජපක්ෂ විසින් එක්සත් ජාතික පක්ෂයෙන් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ සියලුම ප්‍රයත්න සම්පූර්ණයෙන්ම නවතාලීමට යත්න දැරීම යන කරුණු කාරණා වන බවයි.

උතුරු නැගෙනහිර අලුත් ආණ්ඩුකාරවරු

නව ව්‍යවස්ථාව හා සම්බන්ධ කරුණු වලට අමතරව දමිළ දේශපාලන නායකත්වයේ භූමිකාවද පුවත්පත් තුළ සාකච්ඡාවට ගැනී තිබිණි. තිනකරන් පුවත්පත, එහි දේශපාලන අතිරේකය වන අරන්ගම් හි සාකච්ඡාවට ගෙන තිබුනේ, පිළිවෙලින් උතුරු පළාත සහ නැගෙනහිර පළාත සඳහා ආණ්ඩුකාරවරුන් ලෙසින් අභිනවයෙන් පත් කරන ලද ආචාර්ය සුරේන් රාඝවන් සහ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සමගින් දෙමළ ජාතික සන්ධානයේ ඇති සබැඳියාවයි. මෙම සාකච්ඡාවේදී පුවත්පත් අතිරේකය මගින් හඟවා තිබුණේ, පළාත් දෙකේම ආණ්ඩුකාරවරුන් මෙම තීරණාත්මක කාල වකවානුවේදී දෙමළ ජාතික සන්ධානය සමගින් සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා පෙර මං බලනා බවයි.

ඉරිදා ප්‍රකාශයට පත්වූ තිනකරන් පුවත්පතේ පළ වූ අදහස් දැක්වීමකින් ප්‍රකාශයට පත්ව තිබුණේ දමිළ දේශපාලන නායකත්වයේ අවධානය, දමිළ ප්‍රජාවගේ ආර්ථිකය බලාත්මක කිරීම කෙරෙහි විතැන් වීමේ වැදගත්කමයි. දමිළ ප්‍රජාවගේ දේශපාලන ගැටළු සම්බන්ධයෙන් විසඳුමක් සෙවීම සඳහා මෑතකදී ගත් නවතම උත්සාහය වන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම ඇතුළු විවිධ යත්න දැරීම් තිබියදීත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් අසාර්ථක වූ ප්‍රයත්නයන් මෙම මත දැක්වීමෙන් පැහැදිලි කොට තිබිණි. එයින් යෝජනා කොට තිබුණේ, දමිළ දේශපාලන නායකත්වය විසින් තම ඉල්ලීම් සඳහා දමිළ ප්‍රජාව ආර්ථිකමය වශයෙන් සවිබලගැන්වීම පාදක කරගත යුතු බවයි.

එසේම දමිළ දේශපාලන නායකත්වයට සිදුවූ වැරදීම්ද තිනකුරල් පුවත්පත මගින් පැහැදිලි කොට තිබිණි. එම තිනකුරල් ලිපිය මගින් විස්තර කොට තිබූ ආකාරයට සිදුවූ ප්‍රධානතම වැරදීමක් වූයේ දමිළ දේශපාලකයන්, තමිල් නාඩු දේශපාලනඥයන් හා තමිල්නාඩු ජනතාව මත යැපීමයි. මෙම ලිපියෙන් ප්‍රකාශ කෙරී තිබුණේ, ශ්‍රී ලංකාවේ දමිළ දේශපාලන නායකත්වය විසින් තමිල් නාඩුව විශ්වාස කිරීමෙන් තමන් කළ අනුවණ ප්‍රමාද දෝෂය වටහා ගත්තේ 2009 වසරේදී යුද්ධය එහි අවසන් අදියර වෙත ගමන් කරමින් තිබියදී පමණක් බවයි.

මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාවේ වගකිවයුතු බව

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීලඟ සැසිවාර පෙනෙන නොපෙනෙන දුරකින් තිබෙනා අතරවාරයේදී වීරකේසරී පුවත්පතේ දේශපාලන අතිරේකය වන අරසියල් තීප්පෝරි මගින් සාකච්ඡාවට ගැනී තිබුණේ, විශේෂයෙන්ම කවුන්සිලය මගින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති කාලය අවසාන වෙමින් තිබියදී මෙම ලඟ එන සැසිවාරයන්හිදී රජය මගින් තම වගවීම සම්බන්ධයෙන් වන ගැටළු කෙරෙහි ආමන්ත්‍රණය කරනු ඇත්තේ කෙසේද යන්නයි. මීට අමතරව මීලඟ සැසිවාරයන්හිදී ජර්මනිය හෝ කැනඩාව මගින් යෝජනාවක් ගෙන ඒමට ඇති හැකියාවද පුවත්පත මගින් වාර්තා කළ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාව ඉදිරිපත් කරන තුරු ජාත්‍යන්තර ප්‍රජාව පරීක්ෂාකාරීව බලා සිටින බවටද පුවත්පත මගින් වැඩි දුරටත් අනතුරු හඟවා තිබිණි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි