ශ්‍රී ලංකාවට තවත් කල් දෙන්න එපා: එක්සත් ජාතීන්ට බල කිරීමක්

Report
5Shares

යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට යුක්තිය ඉටුකිරීම සඳහා පියවර ගන්නා බවට බලයට පත්වූ විගස ජගත් ප්‍රජාව සමග එකඟවී පොරොන්දු ඉටු නොකළ ශ්‍රී ලංකාවේ රජයට ඒ සඳහා තව දුරටත් කල් නොදෙන මෙන් යුද පීඩිතයෝ එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටිති.

මානව හිමිකම් කටයුතු පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැෂලේ වෙත තම ඉල්ලීම රැගත් ලිපියක් යොමු කරන අතුරුදහන් වුවන්ගේ ඥාතීහු ඒ සඳහා පුළුල් මහජන සහාය ලබාගනු පිණිස වවුනියාව නගර මධ්‍යයේ විශේෂ උද්ඝෝෂණයක් පැවැත්වූහ.

ශ්‍රී ලංකාවේ රජය විසින් 2015 දී දෙන ලද පොරොන්දු උවමනාවෙන්ම අත්හැර දමා ඇති බව මාර්තුවේ ජිනීවාහි මුළුදෙන ජගත් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන වාර්ෂික සමාලෝචනය මගින් ජාත්‍යන්තර ප්‍රජාවට දැනුම් දෙන ලෙස මහකොමසාරිස්වරියට යොමු කරන ලද ලිපියේ දැක්වේ.

“අපේ කනස්සල්ලට හේතුව නොඉවසිල්ල නොවේ,” යි යුක්තිය ඉටු වන තුරු දස අවුරුද්දකට ආසන්න කාලයක් බලා සිටි යුද පීඩිතයන්ගේ සංදේශයේ ලියා තිබේ.

“වගවීම, යුක්තිය, සංහිඳියාව සහ තිරසාර සාමය දිසාවට යන නිවැරදි මාර්ගයේ ගමන් කරන්නේ නම්, හෙමින් ගියත් ප්‍රගතිය අපි සතුටින් බාරගන්නට සුදානම්ය. කෙසේ වෙතත්, මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව යන්නේ නිවැරදි මාර්ගයේ නොව, ආපස්සට බව අපේ විශ්වාසයයි.”

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සහ සංහිඳියාව සම්බන්ධයෙන් 2015 ඔක්තෝබරයේ සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා 2019 මාර්තුවේ මුළු දීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 40 වැනි සැසිවාරය දක්වා 2017 දී කල් දෙනු ලැබුයේ වින්දිතයන්ගේ විරෝධතා මධ්‍යයේය.

එසේ වුවත් දෙමළ ජාතික සන්ධානය මෙන්ම දේශීය හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ද ආණ්ඩුවට දෑවුරුද්දක් කල් දීමට එකඟ විය.

තව දුරටත් කල් මැරීමට ආණ්ඩුවට ඉඩ නොදී වෙනත් විකල්ප පියවර ගනු සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාට යොමු කරන ලෙස සංදේශය මහ කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටී.