රාජ්‍ය නිදහස් දින සමරුවේ දී ජනපති සිංහල කම “හිස මත” තබාගනී

Report
11Shares

යුද අවි ප්‍රදර්ශනය කරමින් අගනුවර පැවැත්වූ රාජ්‍ය නිදහස් දින සමරුවේදී ජනාධිපතිවරයා සිංහල කම නගා සිටුවීම තම අනාගත දැක්ම ලෙස අවධාරණය කර සිටියේය.

රජයේ ආරක්ෂක සේනා උත්කර්ෂයට නැංවීමට තම දේශනයේ සෑහෙන කාලයක් මිඩංගු කළ ජනාධිපතිවරයා තම ඉදිරි දැක්ම කියා පෑම සඳහා සිංහල පඬිවර කුමාරතුංග මුනිදාසයන් ලියූ සඳැස් කවියක් නිසඳැසක් ලෙස හඳුන්වමින් ප්‍රකාශ කළේ සිංහල කම “හිස මත” තබාගන්නා බවයි.

“මා දෙස හෙළ දෙස.., මා රැස හෙළ රැස…, මා බස හෙළ බස…, මෙය මගෙ හිස මත. අප විසින් ගොඩනගා ගත යුතු අනාගත දැක්මේ හරය එය විය යුතුයැයි මා විශ්වාස කරනවා,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේය.

හෙළ කම හිස මත තබාගන්නා බවක් කුමාරතුංගයන්ගේ මුල් කවියේ නොදැක්වේ.

“මා දෙස හෙළ දෙස වෙන කිසි දෙසකට

මා රැස හෙළ රැස වෙන කිසි රැසකට

මා බස හෙල බස වෙන කිසි බසකට

මේ හිස නොනමමි නොනමමි කිසිවිට”

ජාතික නිදහස් දින සමරුව අමතා ජනාධිපතිවරයා කියා සිටි පරිදි උතුරේ ජනතාව වඩාත්ම නිදහස්ව ජීවත් වී ඇත්තේ ඔහුගේ ආණ්ඩුව පැවති පසුගිය සිව් වසර තුලයි.

කෙසේ වෙතත්, පෙබරවාරි 4 වැනිදා නිදහස අහිමි “කළු දිනයක්” ලෙස හෙලා දකිමින් උතුරු නැගෙනහිර ජනතාව විරෝධතා දියත් කර තිබුනි.