ජනපතිගේ “අසාධාරණ” පාර්ලිමේන්තු දෝස්මුරයට හැරෙන තැපෑලෙන් පිළිතුරු

Report
10Shares

[“වධහිංසාවටතිත” මැයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම විසින් 2016 ජූනි 30 දා කොළඹ පවත්වන ලද පාගමනකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද එක්ව සිටියේය]

දේශපාලන බලපෑමෙන් තොරව කටයුතු කිරීමේ අරමුණු ඇතිව පිහිටුවා ඇති රාජ්‍ය ආයතන දෙකක් තම අභිමතයට එරෙහිව යන බවට ජනාධිපතිවරයා විසින් කරන ලද දෝෂාරෝපණයකට කතානායකවරයාගේත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේත් බරපතල විරෝධය එල්ල වී තිබේ.

ජනාධිපතිවරයා සිය දොස් පැවරීම කළේ තුන් මාසයකට වැඩි කලකට පසු පාර්ලිමේන්තුවට ආ මුල්ම දවසේ කතාවක් පවත්වමිනි.

ව්‍යවස්ථාව අනුව මාස තුනකට වතාවක් හෝ පාර්ලිමේන්තුවට පැමිණීමේ අවශ්‍යතාව ඉටු නොකිරීම ගැන මැතිසබයෙන් සමාව ඉල්ලා සිටි ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමත් දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.

ව්‍යවස්ථා සභාවේ සභාපතිත්වය හොබවන කතානායකවරයා ඊට පසුදාත්, මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඉන් අනතුරුවත් ජනාධිපතිවරයාගේ දොස් පැවරීම අසාධාරණ බව පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාගේ දෝෂාරෝපණයට ලක් වූයේ යුද හමුදා හා පොලිස් නිලධාරීන්ගේ මානව හිමිකම් චර්යාව පිළිබඳව අධීක්ෂණයෙන් “අපිට කරන කරදර” සම්බන්ධයෙනි.

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටියදී ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් දෙදෙනකු මරුමුවට පත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මානව හිමිකම් කොමිසමට දොස් පැවරීය.

බටහිර අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ මොප්ටි කලාපයේ ඩුඑන්ට්සා ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී බිම් බෝම්බ ප්‍රහාරයකට ගොදුරුවූ සන්නද්ධ රථයක සිටි මේජර් එච්.ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම සහ සැරයන් එස්.එස්. විජේකුමාර යන දෙදෙනා ජනවාරි 25 දා මරුමුවට පත් වූහ.

ඒ සමග තවත් හය දෙනකුද තුවාල ලද බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර තිබුනි.

“මාලිවලට රාජකාරිවලට ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරලා ඒ දෙදෙනා ලංකාවට එන්න හිටියේ මීට මාස හයකට කලින්,” යයි ඔවුන්ගේ අවසන් කටයුතු වලට පසුදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවට කියා සිටියේය.

“ඒ කණ්ඩායම් මාරු කිරීම් කරන්න දෙන්නේ නැහැ, මේ සියලු දෙනාගේ තොරතුරු හොයලා මේ අය මෙහෙමයි යවන්න බැහැ, මේ විදියයි කියලා අපේ මානව හිමිකම් කොමිෂන් සභාව තමයි අපිට කරදර කරන්නේ. මානව හිමිකම් කොමිෂන් සභාව ඒ කරදරය නොකළා නම් මම පැහැදිලිවම දන්නවා මේ මරණයට පත් වුණු පොළොන්නරුවේ මේජර්වරයා සහ කුරුණෑගල සොල්දාදුවා කිසිසේත් මරණයට පත් වෙන්නේ නැහැ.”

වෙනත් භට පිරිසක් යවා තිබුනේ නම් ඔවුන්ගේ ජීවිත අවදානමේ නොවැටෙන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා පැහැදිලි කළේ නැත.

ශ්‍රී ලාංකික භට පිරිස් ආපසු ගෙන්වා ගැනීම කොමිසමේ ප්‍රමාදයක් නිසා කල් ගතවූ බවට කරන ලද ප්‍රකාශය “කිසිසේත්ම නිවැරදි නොවන බව” පවසමින් මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාගේ නිගමනය ප්‍රතික්ෂේප කර තිබිනි.

සාමසාධන මෙහෙයුම් සඳහා භට පිරිස් මානව හිමිකම් කඩකොට නැති බවට සහතික කරගැනීමේ නිශ්කාෂණ ක්‍රියාවලිය මානව හිමිකම් කොමිසම තනිව කරන්නක් නොව ත්‍රිවිධ හමුදාව, පොලිසිය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක කටයුතු අමාත්‍යාංශය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය එකඟවූ සම්මත ක්‍රියා පටිපාටියකට අනුව සිදු කෙරෙන්නක් බව කොමිසමේ සභාපතිනිය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ප්‍රකාශ කර තිබේ.

එම එකඟතාව ඇතිකරගන්නා ලද්දේ “නිශ්කාෂණ කටයුතු ආරම්භයේ දී ඇතිවූ නොයෙකුත් ගැටලුකාරී තත්වයන් විසඳා ගැනීම සඳහා” එකී පාර්ශව සමග පසුගිය ජුනියේදී පවත්වන ලද වටමේස සාකච්ඡාවකින් අතතුරුවය.

ලෙබනනයේ සාමසාධනය සඳහා පසුගිය මාර්තුවේ පිටව යාමට සැරසී සිටි සෙන්පතියකු ඇතුළු බලකායක් අත් හිටවා තිබුනි.

ඔවුන්ගේ අතීත මානව හිමිකම් චර්යාව නිසි පූර්ව පරීක්ෂාවට ලක් නොකිරීම ඊට හේතුව ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දක්වා තිබුනි.

විදේශ ගත කිරීමට පෙර නිශ්කාෂණ කටයුතු සඳහා නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ නම් ලබා නොදීම මගින් යුද හමුදාව 2016 දී ඇතිකරගත් එකඟතා කඩකිරීම සාමසාධනයට භට පිරිස් කලට ලබාදීම සඳහා බාධාවක් වී ඇති බව මානව හිමිකම් කොමිසම ඒ දිනවලදී ජනාධිපතිවරයාට යවන ලද ලිපියකින් පෙන්වා දී තිබුනි.

“සම්මත ක්‍රියා පටිපාටියක් කෙටුම්පත් කරගන්නා තුරු” අත් හිටුවන ලද පුර්ව පරීක්ෂණ කටයුතු නැවත ආරම්භ කර ඇත්තේ පසුගිය වසර අගදීය.

ඒ නිසා සාමසාධක භට පිරිස් යෙදවීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට දොස් පැවරීම වැරදි බව ආචාර්ය දීපිකා උඩගම විසින් ජනාධිපතිවරයා වෙත ලියන ලද ලිපියේ දැක්වේ.

“අදාළ ක්‍රියා පටිපාටිය සියල්ලන් විසින් පිළිගැනීමෙන් අනතුරුව 2018 දෙසැම්බර් 20 දින සිට නැවත නිශ්කාෂණ කටයුතු ආරම්භ කළ හැකි බව එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා මෙහෙයවන විසින් සියලු පාර්ශවයන් වෙත දැනුවත් කරන ලදී. ඒ අනුව මානව හිමිකම් කොමිෂන් සභාව එම දින සිට නැවත නිශ්කාෂණ කටයුතු ආරම්භ කරන ලදී. එමනිසා මානව හිමිකම් කොමිෂන් සභාවේ නොසැලකිල්ල හෝ ප්‍රමාද දෝෂයක් නිසාවෙන් නිශ්කාෂණ කටයුතු පසුබෑමකට ලක්වුයේ යැයි යන්න අප තරයේ ප්‍රතික්ෂේප කරමු.”

පසුගිය අප්‍රේල් මාසයේ ජනාධිපතිවරයාට යවන ලද එම ලිපියෙන් මානව හිමිකම් කොමිසම විසින් නිශ්කාෂණ ක්‍රියාවලිය පැහැදිලි කර දීමෙන් අනතුරුව ඊට සහාය වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් විශේෂ ඒකකයක්ද පිහිටුවන ලදී.

යුද හමුදාවේ විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය පිහිටුවමින් හමුදාපති මහේෂ් සේනානායක ප්‍රකාශ කළේ විදේශගත වන නිලධාරීන් සහ සොල්දාදුවන් යුද අපරාධ හෝ මානව හිමිකම් උල්ලංඝන හෝ සිදු කොට නැති බව සහතික කරගැනීම සඳහා අනිවාර්යයෙන්ම නිශ්කාෂණ ක්‍රියාවලියට යටත් විය යුතු බවයි.

මානව හිමිකම් කා වෙනුවෙන්ද?

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) යෙදවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම එහි ප්‍රධාන අණදෙන නිලධාරියාගෙන් ප්‍රශ්න කිරීමද ජනාධිපතිවරයා විසින් හෙලා දැක තිබුනේ “එතැනදී මානව හිමිකම් කොමිෂන් සභාව පෙනී සිටින්නේ කවුරු වෙනුවෙන්ද?” යනුවෙන් විමසමිනි.

දේශීය හා ජාත්‍යන්තර නීතිය අනුව රැඳවියන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් රැක ගැනීමට කටයුතු කිරීම ප්‍රධාන කාර්ය භාරයක් වන මානව හිමිකම් කොමිසන් සභාවට ඒ සඳහා විවිධ බලතලද පැවරී තිබෙන බව ආචාර්ය උඩගම සිය පිළිතුරෙන් ජනාධිපතිවරයාට සිහිපත් කර දී ඇත.

“මෙහිදී අප සිහිපත් කළ යුතු වන්නේ 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාලාව හා රැඳවියන් 27 දෙනකුගේ ඝාතන හේතුවෙන් බොහෝ රැඳවියන් පිටස්තර සන්නද්ධ නිලධාරීන් බන්ධනාගාර තුල ස්ථානගත කිරීම කෙරෙහි සාධාරණ බියක් ඇති බවයි. එමනිසා මෙම අවස්ථාවේදී මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදු කෙරුනේ එහි නීතිමය කාර්ය භාරය ඉෂ්ට කිරීම බව කාරුණිකව පෙන්වා දෙමු.”

STF භටයන් අඟුණකොළපැලැස්ස සිරගෙදර රැකවලට යෙදවීමට විරුද්ධව උද්ඝෝෂණය කිරීමෙන් අනතුරුව රැඳවියන්ට බන්ධනාගාර බලධාරීන් විසින් පසුගිය නොවැම්බරයේ පහර දීම පිළිබඳව මානව හිමිකම් කොමිසම විසින් විමර්ශනයක් පවත්වාගෙන යනු ලැබේ.

ජාතික මානව හිමිකම් ආයතන සඳහා වන ගෝලීය සංසදය (GANHRI) විසින් විශිෂ්ඨ ශ්‍රේණියේ ජාත්‍යන්තර ඇගයීමකින් පසුගිය අවුරුද්දේ පුදන ලද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අසාධාරණ විවේචන එල්ල කිරීම නිසා තමන් කනස්සල්ලට පත්වනු පමණක් නොව එමගින් අධෛර්යමත් වන බවද ආචාර්ය දීපිකා උඩගම අනතුරු අඟවා තිබේ.

විනිසුරුවන් පත් කිරීම

විනිශ්චයකාරවරුන් ලෙස තමන් විසින් නිර්දේශ කරන විනිශ්චයකාරවරුන්ට උසස්වීම් දීමේදී “ජ්‍යෙෂ්ඨත්වය කිසිසේත් සලකන්නේ නැත” යනුවෙන් පවසා ප්‍රතික්ෂේප කරන බවට ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටද සිය පාර්ලිමේන්තු දේශනයෙන් දොස් පවරා තිබුනි.

ජනාධිපති නායකත්වය දරන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ද සාමාජිකත්වය දරන ව්‍යවස්ථා සභාවේ සභාපති වන කතානායකවරයා පාර්ලිමේන්තුවේදීම ඊට පිළිතුරු දෙමින් පෙන්වා දී තිබුනේ ජනාධිපති ප්‍රකාශය වැරදි සහගත බවයි.

එක් එක් තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේදී “ජ්‍යෙෂ්ඨත්වය, අවංකත්වය, ස්වාධීනත්වය, සහ අපක්ෂපාතීත්වය ද සභාව විසින් සලකා බලන බව සඳහන් කළ යුතුය," කතානායක කරු ජයසූරිය සභාවට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

"ජ්‍යෙෂ්ඨත්වය පමණක්ම උපයෝගී කර ගන්නේ නම් ව්‍යවස්ථාදායක මණ්ඩලයක් අවශ්‍ය නොවේ. අතිගරු ජනාධිපතිතුමා විසින් ද එසේ කළ අවස්ථා ඇත. ඒවා එකින් එක සඳහන් කරමින් වාද විවාද කිරීමට අප අදහස් නොකරන්නෙමු."

අල්ලස් කොමිසම ඉදිරියේ චෝදනාවට ලක්වූ තැනැත්තන් සහ අග විනිසුරු නිර්දේශය නැත්තවුන් පත් කිරීම සඳහා කෙරුනු නිර්දේශ කිසිවිටෙකත් අනුමත නොකළ බව කතානායකවරයා කියා සිටියේය.

තමන් විසින් නිර්දේශ කරන නම් කපා හැරීමේදී විනිසුරුවන්ගේ අතීත ක්‍රියා කලාපය සැලකිල්ලට ගැනීම ජනාධිපතිවරයා සලකා ඇත්තේ “අධිකරණ ක්ෂේත්‍රයේ බරපතල ඛේදවාචකයක්” ලෙසයි.

“අතීතයේ යම් යම් නඩු තීන්දු දීම් පිළිබඳව, චෝදනා කරමින් ඒ නිසා මේ අය උසස් වීම් වලට නුසුදුසුයි කියලා මතයක් තුල විනිශ්චයකාරවරුන්ගේ උසස්වීම් ලබා නොදෙනවා නම්, එය මේ රටේ අධිකරණ ක්ෂේත්‍රයේ බරපතල ඛේදවාචකයක් බවට පත්වේවි කියා මා විශ්වාස කරන්නේ,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය පාර්ලිමේන්තු දේශනයෙන් ප්‍රකාශ කර තිබුනි.

ස්වාධීන ආයතනයක් වන ව්‍යවස්ථා සභාවේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනයට ලක් කිරීම “දීර්ඝ කාලීනව රටට කරන හානියක්” බව කතානායක කරු ජයසූරිය සිය දේශනයෙන් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඇතුළු කොමිසම් සභා වල සාපේක්ෂ ස්වාධීනත්වය තහවුරු කිරීමට උපකාර වන්නක් ලෙස එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර හා දේශීය මානව හිමිකම් බලධාරීන්ගේ අගය කිරීමට පාත්‍ර වී තිබෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, ජනාධිපතිවරයාගේත්, ඔහු හා මෑතක සිට නැවත සන්ධාන ගතවී සිටින මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සිංහලවාදී බලවේග වලත් හෙලා දැකීමට ලක්වී තිබෙන්නකි.