“වාහන තදබදය” නිසා පරක්කුවූ ගෝටාට විශේෂ උසාවියෙන් අවවාද

Report
3Shares

පියා වෙනුවෙන් කටුගෙයක් ඉදි කිරීම සඳහා කෝටි ගණනක මහජන මුදල් වංචා කිරීමේ චෝදනා විමසන නඩු විභාගයට ප්‍රමාද වී පැමිණි හිටපු ආරක්ෂක ලේකම් වරයාට මින් පසු නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අවවාද කර තිබේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ වීරකැටිය මැදමුලන ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීම සඳහා රුපියල් තිස්තුන්කෝටි තිස්නම ලක්ෂයක් අවභාවිතා කළ බවට චෝදනා නගා රජය විසින් පවරා ඇති නඩුව විභාග කිරීමට බලයක් නැති බවට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සත් දෙනකු කළ අභියෝගයද ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ඉවත ලන ලදී.

නඩුවේ ප්‍රධාන විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම් අධිකරණයට පැමිණියේ පමා වීය.

නිදහසට හේතු දක්වමින් ඔහුගේ නීතිඥවරුන් කියා සිටියේ “වාහන තදබදය” ප්‍රමාදයට හේතු වූ බවයි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් කළ ඉල්ලීමක් පරිදි විශේෂ මහාධිකරණය විසින් විත්තිකරුවන්ට අවවාද කරන ලද්දේ කලට වේලාවට හමුවේ පෙනී සිටිය යුතු බව අවධාරණය කරමිනි.

ලබන 22 දක්වා නඩුව කල් දැමූ සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න විනිසුරු තුන්කට්ටුව විසින් එදිනට විත්තිකරුවන්ගේ පිළිතුරු ඉදිරිපත් කරන මෙන් ද නියම කරන ලදී.

ගෝඨාභය රාජපක්ෂට අමතරව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික භද්‍රා උදුලාවතී කමලදාස, සුධම්මික කේවින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී මෙන්ඩිස් සාලිය සහ ශ්‍රීමතී මල්ලිකා කුමාරි සේනාධීර සෙසු විත්තිකරුවෝ වෙති.

එම හත් දෙනාට නඩු පවරා ඇත්තේ මහජන දේපල පනත, අපරාධ විධිවිධාන සංග්‍රහය සහ මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේය.