ජනපති අගමැති දෙපලටම ජාතික ඒකාබද්ධතා ඇමැති දෙහි කපයි

Report
4Shares

පවතින දේශපාලන අර්බුදය දැනට රට කරවන හවුල් ආණ්ඩුවේ දෝෂයක් ලෙස හෙලා දකින ජාතික ඒකාබද්ධතාව බාර අමාත්‍යවරයා ඊට වගකිවයුත්තන් ලෙස ජනපති සහ අගමැති දෙදෙනාටම වරද පවරා තිබේ.

තමන් අමාත්‍ය ධුරය දරන රජයේ “නිල ප්‍රධානියා” ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත්, “අපේ ආණ්ඩුවේ ප්‍රධානියා” ලෙස අගමැති රනිල් වික්‍රමසිංහත් නම් කරමින් ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා ඔවුන්ට දොස් පැවරුවේ මාතලේ පැවති රාජ්‍ය උත්සවයකදීය.

“ජනපති උනත් හරි, අගමැති උනත් හරි කවුරු මොන තනතුරට ආවත් හරි ඔක්කොම බලන්නේ තමන්ගේ රට ගැන නෙවෙයි තමන්ගේ පක්ෂය ගැන බලන්නේ,” යි මනෝ ගනේෂන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එක අවස්ථාවක ප්‍රසිද්ධියේ ගැටුම් ඇතිකරගන්නා බව පෙන්නුම් කරන එකිනෙකට විරුද්ධ පක්ෂ වල දේශපාලකයන් “තව දවසක් මගුල් ගෙදර ගිහින් මගුල් කනවා, රහස් කතා කරනවා,” යි ප්‍රකාශ කළ ඔහු කියා සිටියේ තමන් ඊට නොරැවටෙන බවයි.

තමන් නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණද හවුල් වී පිහිටුවා ගත් ජාතික ආණ්ඩුව “අනාගත්” බවට ඔහු විසින් හෙලා දකින ලදී.

2015 අගෝස්තුවේ එක්සත් ජාතික පක්ෂය අතට ආණ්ඩු බලය නොගෙන දින සියයේ වැඩසටහනක් සම්පාදනය කළ “පණ්ඩිතයන්” ඊට වගකිව යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන්ගේ චෝදනාව විය.

කෙසේවෙතත්, “පක්ෂය ගැන” පමණක් වෙහෙසෙන අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතුව තමන්ද ඇතුලත් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් අනාගතයේදී තහවුරු කරගැනීම සඳහා සැලසුම් කෙරෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා ඉදිරි ජනාධිපතිවරණය සඳහා එම පක්ෂයෙන් අපේක්ෂකයකුද තීන්දු කර හමාර බව කියා සිටියේය.

එම අපේක්ෂකයා “දිනන බඩුවක්” බවට අමාත්‍ය මනෝ ගනේෂන් දැඩි විශ්වාසය පල කළේය.